පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය නො.25, මාලිගාව පාර, රත්මලාන යන ස්ථානයෙහි තිබෙන අතර, එහි කාර්යයන් ඉටු කිරීම සඳහා කළුතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල කාර්යාල 03ක් පිහිටුවා ඇත.

දැනට තිබෙන පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව 1992 වර්ෂයේදී බස්නාහිර පළාතේ තිබෙන සුළු වාරිමාර්ග වැඩකටයුතු ඉටු කිරීම සඳහා බස්නාහිර පළාත් ඉංජිනේරු කාර්යාංශයේ අංශයක් ලෙස පිහිටුවීය. පසුව මෙය 2005.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි A ‍ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස 2006.12.08 දිනැති ගැසට් පත්‍රය මඟින් වර්ග කරනු ලැබු අතර 2012 වර්ෂයේදී බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය යටතට පත්කරන ලදී.

මෙම දෙපාර්තමේන්තුවේ කාර්යයන් ඉටු කිරීම සඳහා අදාළ නීතීන් සංස්ථාපනය කිරීම සඳහා වන ප්‍රඥප්තිය (අංක 1888/42) 2014.11.14 දිනැති ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

දැක්ම:

"නිසි කලට ගොවිතැනට නිසි ජලය."

මෙහෙවර:

"බස්නාහිර පළාතේ ජලය සහ භූමි සම්පත් වලින් එහි ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදෙනු පිණිස, කෘෂිකාර්මික ඵලදායීතාවය වැඩි දියුණු කිරීම උදෙසා නවීන තාක්‍ෂණය සමග අනෙකුත් සම්පත් යොදා ගනිමින් සැලසුම් කිරීම, ඉදිකිරීම, නඩත්තු කිරීම සහ පුනරුත්ථාපනය කිරීම මගින් වාරි පද්ධතිය සංවර්ධනය කිරීම සහ එහි තිරසාර පැවැත්ම තහවුරු කිරීම."

සංවිධාන ව්‍යුහය

බස්නාහිර පළාත තුළ පිහිටි සුළු වාරිමාර්ග කටයුතු සංවර්ධනය කිරීම සඳහා සේවාවන් සපයන “A” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වන බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු පරිපාලනය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කාර්ය භාරය බස්නාහිර පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ වෙත පැවරී ඇත. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 1 වන පන්තියේ නිලධාරියෙකු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලබන අතර පළාත් වාරිමාර්ග විෂය භාර ලේකම්ගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් සුළු වාරිමාර්ග ප්‍රඥප්තියේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට බලය ලැබී ඇත. මෙම ප්‍රඥප්තියේ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාතේ දිස්ත්‍රික් 03 සඳහා වෙන් වෙන් වශයෙන් දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල 03ක් ස්ථාපිත කර ඇති අතර මේ සඳහා ආයතන ප්‍රධානීන් ලෙස දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරුවරු තිදෙනෙකු පත්කර තිබේ.

මීට අමතරව ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සිටින මුලස්ථාන ඉංජිනේරු විසින් දෙපාර්තමේන්තුවේ සියළුම රාජකාරීන් මෙහෙයවනු ලැබේ. තවද දෙපාර්තමේන්තුවට වෙන් වී ඇති වැය ශිර්ෂ යටතේ සිදු කරනු ලබන මුල්‍ය කටයුතු දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිගේ අධීක්ෂණය යටතේ ඉටු කරනු ලැබේ. මේ ආකාරයට පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂගේ අධීක්ෂණය සහ විධිවිධාන වලට යටත්ව ඔවුන් වෙත පවරනු ලබන බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, ඉටු කිරිම සිදු කරනු ලබයි.

සංවිධාන සටහන

Organization Chart